Monday, May 1, 2017

122. හදවත් සැත්කම


පිංතූරය ගත්තේ duniamagda

“ෂ්..ෂ්.. මේ… ඔව් ඔයාට තමයි කතාකලේ… කියන්නම් මම කතාවක්… අහන් ඉන්නවද ඉවර වෙනකල්…? “

“හැබැයි ඔයා එක උදව්වක් කරන්න ඕනේ ඔන්න… කතාව කියද්දි මට හුස්ම ගන්න අමතක උනොත් ඔයා මට මතක් කරන්න ඕනේ හොඳද..? මොකද මම හදවත් රෝගියෙක්… නෑ රෝගියෙක්ම නෙමෙයි… හදවත් සැත්කමකට මූණ දුන්න කෙනෙක් කියමුකෝ… ඉතින් මට අවවාද කරලා තියෙන්නේ හුස්ම නොගෙන ඉන්න හොඳ නෑ කියලා… හදවත් සැත්කමක් කළ කෙනෙකුට වෙන්න පුළුවන් නරකම වැරැද්ද මොකක් කියලද හිතන්නේ..? ඔව්  හුස්ම නොගෙන ඉන්න එක තමයි… ඔය හින්දම මම දැන් හාදු දෙද්දී ඇස් පියවෙන්න දෙන්නෙත් නෑ…  ඇස් පියවෙද්දී තමයි හිත හාදුවට ඇදිලා යන්නේ… අන්න එතකොට තමයි හුස්ම ගන්න අමතක වෙන්නෙත්…”

“මේ කතාව පටන් ගත්තේ දැන් ටික කාලෙකට කලින්… දින වකවානු නම් හරියටම මතක නෑ… ආ… මතකද පහුගිය දවසක මුලු ලෝකෙම තත්පර ගානකට නැවතුනා..? හරියටම අන්න එදා… “

“මේ ලෝකේ ආදරය සම්බන්ධයෙන් වැඩියම කියවිලා ඇති දේ මොකද්ද කියන්න පුළුවන්ද..? අයි ලව් යූ..? හ්ම්ම්... වෙන්න ඇති… 

හොඳයි එතකොට ඊළඟට වැඩියම කියවිලා ඇත්තේ මොකද්ද..? අයි ලව් යූ ටූ…? වැරදී නේ..? ඊළඟට වැඩියම කියවිලා ඇත්තේ ඔයාවගේ කෙනෙක් ලබන්න මම පින් කරලා නෑ… ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හම්බවෙයි කියන එක වෙන්න ඇති… “

“අපි හිටියේ කොෆී ස්ටුඩියෝ එකේ අපි හැමදාම වාඩිවෙන වතුර මල ගාව මේසේ… අපි කිව්වට මම… මොකද අරයා ඒ වෙනකොටත් නැගිටලා ගිහිල්ලා… ඒ විදියට කොච්චර කාලයක් මම වාඩිවෙලා හිටියද මට මතක නෑ.. පැයක්… දෙකක්.. දවසක්… සති… මාස ගානක්… “

“මෙයා මාව දැකලා තියෙන්නේ එහෙම ඉඳිද්දී… මගෙත් එක්ක කතාකරන්න හදද්දී මගෙන් ප්‍රතිචාරයක් නැති නිසා විමසිල්ලෙන් බලද්දී තමයි ඔන්න එයා දැනගෙන තියෙන්නේ… මට හදවතක් තිබිලා නෑ… “

“අනේ... ඒක කෑලි වලට කැඩිලා… මම එහෙම කිව්වම එයා කලබල උනේ නැහැ පොඩ්ඩක්වත්… අපි කෑලි ටික ආයෙත් අමුණමු… ඔහොම  කියද්දී මම මුලින් හිතුවේ විහිළුවට කියලා… ඒත් මගේ හදවතේ බිඳිලා ඉහිරුණු කෑලි හොයන්න එයා මහන්සි වෙන හැටි දැක්කම මේක විහිළුවක් නෙමේ කියලා මට තේරුණා…”

“කොෆී ස්ටුඩියෝ එකේ වතුර මල ළඟ මේසේ යට තිබිලා තමයි කෑලි ගොඩක් හම්බවුනේ… ගංගාරාමේ පන්සලේ  මනුස්සයෙක් වැලි මලුව අමදිද්දි හම්බුන තව කෑලි ටිකක් අරන් තියලා තිබ්බා… බේරේ වැව මැද්දේ තියෙන පුංචි දූපතේ බංකුවක් යට තිබුණා තව ලොකු කෑල්ලක්… තව එකක් හොයාගත්තේ වැව හරහා තියෙන රිදීපාට පාලමේ ඇන්දේ පැටලිලා තිබිලා…  කොටුව ස්ටේෂමේ… පංචිකාවත්තේ… ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකේ…බත්තරමුල්ලේ පාක් එකේ… ෆ්‍රෙශ් ඉන්ක් ටැටූ පාලර් එකේ… ලාවා ක්ලබ් එකේ… වොක් ඔෆ් ෆේම් අවන්හලේ… බොඩි ඇන්ඩ් මයින්ඩ් සැලෝන් එකේ… තව කොච්චරක්ද… ඔය හැමතැනින්ම මගේ හදවතේ කෑලි අපි හොයාගත්තා…”

“ඊට පස්සේ තමයි අමාරුම හරිය තිබුණේ… එයා හරියට දක්ෂ කැටයම් ශිල්පියෙක් වගේ… බොහොම සියුම් විදියට ඒ කෑලි නූලටම ගැලපෙන විදියට අමුණන හැටි දැකලා මම පුදුම උනා…  කොහෙන්ද ඒවා ඉගෙනගත්තේ කියලා ඇහුවාම ඔය කවුදෝ එයාටත් කියලා දුන්නා කිව්වේ…”

“අන්තිම කෑල්ලත් අමුණලා ඉවර වුනාට පස්සේ තමයි අපි දැක්කේ… අනේ තව එකම එක කෑල්ලක් අඩුයි…  අම්මෝ අපි ඒක හෙව්ව තරමක්… හොයලා හොයලා බැරිම තැන අතඇරලා දාන්න හදද්දී තමයි එයා පිස්සු අදහසක් ගෙනාවේ… එයාගේ හදවතේ කෑල්ලක් අරගෙන අමුණමු කියලා… දෙවියනේ මම වාද කරපු තරමක්… එයා එක්ක වාද කරලා දිනන්න බැරිබව මට වැටහුනේ එදා… ඉතින් එයා බලෙන්ම වගේ ඒක අමුණලා පොඩි ළමයෙක් වගේ හිනා වුණා… “

“හරියටම ඒ එයා නිවාඩුවට ගෙදර යන දවස… මම එයාට සමුදිලා ගෙදර ආවේ එයාගේ හදවතේ කෑල්ලකුත් එක්ක මගේ පිරුණ හදවත අරගෙන… ඊටත් දවසකට පස්සේ එයාගෙන් කෝල් එකක් නැත්තේ මොකද කියලා ෆෝන් එක අත පත ග ගා ඉද්දී තමයි මම පුදුම දෙයක් දැක්කේ… අර අපිට හොයාගන්න බැරිවුණ මගෙ හදවතේ අන්තිම කෑල්ල… මෙන්න ඒක පැටලිලා තියෙනවා සිම් කාර්ඩ් එකේ… ”

“ඉතිං මම හනිකට එයාට කතා කලා… නිවාඩුව ඉවරවුන ගමන්ම දුවගෙන එන්න කියන්න… මගේ හදවතේ ඒ ඉතුරුවුන කෑල්ල එයාගේ හදවතට අමුණගන්නකල් මම බලාගෙන ඉන්නවා කියන්න…”

“කෝ ඉතිං ඔය හුස්ම ගන්න මතක් කලාද…?”

~~~~~~~~~~~~~~~~

ලියන්නට ටිකකුත්, හිතන්නට හුඟකුත් සිංහල බ්ලොග් අවකාශයේ ඉතිරිකර ඉල‍‍ංදාරියා, පින්තු සර්, ඔබා මාමා  ඇසුරට නික්ම යන ආදරණීය විචාට සුභ ගමන් පතමි...

Wednesday, April 19, 2017

121. හැංගිමුත්තා හැංගියෝ...


පාලකයන් කතාවී..කිඹුල් කඳුළු හෙලාවී..
එකිනෙකාට මුවාවී..ඇඟිල්ල දිගු කරාවී..
නීති රීති ගෙනේවී..දහක් කතා කියාවී..
හිසක් ගොඩට ගනීවී..මිලක් හිලව් කරාවී..

විචාරකයෝ විචාර දෙයි
ප්‍රචාරකයෝ ප්‍රචාරෙ දෙයි
ඉතිං අනේ අපිට මොකෝ
අපිට ඕවා ඇහෙන්නැතෝ
ඉරට හොරෙන් හඳට හොරෙන්
හැංගිමුත්තා හැංගියෝ...

නුඹේ මවත්, පියත්, මමත්
කවුරු වුනත් අපි අසමත්
මුවින් නොබැන දෙතොල් වසා
හැංගිමුත්තා හැංගියෝ...

හෙටක් තියෙන ලොවක් අරන් 
අල්ලන්නට අපි එනකල්
හුඟක් තදින් දෑස පියන්
හැංගිමුත්තා හැංගියෝ...


පින්තූරය අන්තර්ජාලයෙන්

Sunday, March 26, 2017

120. හද සත්සර



ඒ ගිම්හානයේ අන්තිම කාලේ දවසක්. එළියේ මහා රස්නෙත් අමතක කරලා මම දුවමින් හිටියේ ටවුමේ සංගීත බඩු කඩේට. විශ්‍රාම ගිය සොල්දාදුවෙක් වෙච්චි ගාර්ඩි මාමා තමන්ගේ පැන්ෂන් පඩියෙන් එකතු කරපු සල්ලිත්, වැන්දඹුවක් වුණු අපේ අම්මා මාස ගාණක් තිස්සේ වීදුරු බෝතලේකට එකතු කරපු සල්ලිත්, ඒ දෙන්නගේ සීමාවක් නැති ආදරයත් එක්ක මගේ අතේ කිටි කිටියේ මිරිකිලා තිබුණා. රෑ පාසල ඉවරවෙලා යමින් ගමන් මාස ගාණක් තිස්සේ සංගීත බඩු කඩේ වීදුරුවෙන් එබිලා මම ආසා කරපු කළුපාට ගිටාරය තවම විකිණිලා නෑ කියලා සැකහැරලා දැනගන්න මම අමතක කළේ නෑ.
“මම මේ ගිටාරය ගන්නවා…”
මම කිව්වේ මුළු කඩේටම ඇහෙන්න.
“ආ… ඒක රූබල් දෙදාහක් වෙනවා…”
කඩ හිමියා කිව්වේ හරියට සම්ප්‍රදායක් රකින්න වගේ. නැතිනම් සිය පාරකට වඩා මම ගණන් අහලා ඇති ඒ ගිටාරයේ ගාන මම නොදන්නවායැ.
“හොරකමක් කළේ නෑ නේද කෙල්ලේ..?” කවුන්ටරේ උඩින් අතදාලා සල්ලි ගනිද්දී මිනිහා අහනවා.
ගිටාරය අයිති කරගත්ත සතුට නොවෙන්න මම උන්දැට කතා කරනවා දෙකක්.
එදා ඉඳන් මම කළේ ගිටාර් ගහන එකම තමා. ගිටාරයේ තිබුණ හැම කම්බියටම මම මගේම කියලා නමක් දීලා තිබුණා. ගනකමම කම්බියට මම දීලා තිවුණ නම තමයි පුදුමය. අන්තිම කම්බිය ආදරය. ඔය අතරේ අනුපිළිවෙලට බය, වෛරය, දුක, සතුට විදියට කම්බි හයටම නම් තිබුණා. ගෙදර, ඉස්කෝලේ, පාක් එකේ මට තැනක නොතැනක්, රැයක් දවාලක් තිබුණේ නෑ. ගාර්ඩි මාමාගේ ඉඳන් නම නොදන්නා ගෑනු මිනිස්සු පොඩි ළමයි ගොඩක් දෙනා මගේ ගිටාර් වාදනේ බලන්න රැස් වුණා.
රොස් ඔහොම අනිත් අය වගේම එකතු වුණු එක්කෙනෙක්. ඒත් එයාගෙ අනිත් අයට වැඩිය වෙනසක් තියෙන බව මට තේරුණේ ඉර බැහැගෙන යනකල්ම පාර්ක් එකේ ගිටාර් ගැහුවට පස්සේ මාව ගෙදරට ඇරලවන්න පරක්කු නොබලා බලන් හිටපු එකම ඉලන්දාරියා රොස් හින්දා.
ගිම්හාන කාල දෙකක් ගෙවෙන්න ඇති. ඒක කොහොම වුණාද මමත් හරියටම දන්නේ නෑ. කොහොම හරි ඔන්න මම දැන් පදිංචි වෙලා හිටියේ රොස්ගේ හපුටු කාමරේ. අපේ අම්මා මේ ලෝකේ ඉන්න වදකාරම ගෑනු මනුස්සයා කියලයි මම හිතාගෙන උන්නේ. අනේ මම කොච්චර වැරදිද කියලා වටහලා දුන්නේ රොස්ගේ අම්මා. මහ වැස්සක් වහින දවසක පායනකල්වත් ඉන්නේ නැතුව මම රොස්ගේ ගෙදරින් එළියට බැස්සේ අත්දෙක වන වනා. ලෝකේ දරුණුම අපරාධය කරලා ආවත් අම්මා කෙනෙක් තමන්ගේ දරුවට දොර වහන්නේ නෑ.
“හැම දෙයක්ම අපි අලුතින් පටන් ගනිමු මගේ පුංචි සුරංගනාවියේ…” අම්මා කිව්වේ එච්චරයි.
හිස් අතින් ආව එක ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ ඇඟෙන් කොටසක් වුණු ගිටාරය නොවෙන්න. ආයෙත් පස් පාගන්නේ නෑ කියලා එළියට බැහැපු මම ඒ අපාය ඉස්මත්තට ආයෙත් ගියේ මගේ ගිටාරය අරන් එන්න.
“අන්න රොස් ඒක විකුණුවා…” නැන්දම්මා කිව්වේ රටක් දිනුවා වගේ සතුටින්.
එදායින් පස්සේ දවස් ගාණක් ගෙවුණේ එකම විදියට. ගාර්ඩි මාමාගේ කබල් ස්කූටරේ පිටිපස්සේ නැගගෙන මම ටවුම පුරා කරක් ගැහුවේ ගිටාරය ගැන ආරංචියක් හොයාගන්න. මම මේ වැඩේ හරියන්නේ නෑ කිව්ව හැම වතාවකදිම උන්දැ කිව්වේ
“උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කෙල්ලේ…“ කියලයි.
ඔන්න උඩ තට්ටුවක තිබුණ උගස් බඩු කඩේකින් තමයි ඔත්තුව හරියටම හම්බ වුණේ. නාදන්. ගෙවන ඉස්කෝලෙක තරුණ සංගීත ගුරුතුමෙක් තමයි මගේ ගිටාරය සල්ලි දීලා අරගෙන ගිහින් තිබුණේ.
“ඔය ගිටාරය මගේ. මගේ අතෑරපු මනුස්සයා තරහටයි විකුණලා තියෙන්නේ. මට ඕක මගේ පණ වගෙයි. අපිට ආපහු විකුණනවද..?”
මම අහද්දී නාදන් නළල රැලි කළා.
“මම රූබල් එක්දාස් දෙසීයක්ම දුන්නානේ මේකට..?”
“ඒ ගාණ නම් මගේ ගාව දැන් නෑ. බැරිද අපිට ණය ගනුදෙනුවක් කරන්න. මම රූබල් සීයක් දෙන්නම් දැනට. ඉතුරුවා මාසේ ගානේ ගෙවන්න පුළුවනිද..? මට පුළුවන් ලොන්ඩරියේ රෙදි අපුල්ලලා ඒ ගාන හොයාගන්න…”
මම ඇහුවම එයා ගේ ඇතුළට ගිහින් ගිටාරය ගෙනාවා.
“හොඳයි මම දෙන්නම්. හැබැයි මගේ ඉස්සරහා ඔයා සිංදුවක් ප්ලේ කරලා පෙන්නන්න ඕනේ. කොන්දේසියක් විදියට නෙමේ. මේක මේ පුංචි ඉල්ලීමක්…”
අමුතුවෙන් මගෙන් ඉල්ලන්නේ මොකටද ගිටාර් ගහන්න කියලා. ඒක තමයි මට මේ ලෝකේ හොඳටම කරන්න පුළුවන් දේ. මම පටන් ගත්තේ “ට්‍රෙශර්ස් වී ඔව්න්”වලින්.
“දැන් හොඳටම කළුවර වැටිලා. ඉන්න මම ඔයාව ගෙදරට ඇරලවන්නම්…” නාදන් කියද්දී තමයි මම ප්ලේ කරන එක නැවැත්තුවේ.
ඒ මීට අවුරුදු පහළොවකට කලින්. නාදන් ඉස්කෝලේ ඉවරවෙලා මෙලහට එනවා ඇති. අද ගාර්ඩි මාමා සිහිකරලා තියෙන දේව මෙහෙයට දුවන්න බලාගෙන. පුංචි උන් දෙන්නව නාවලා ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ පුළුවනි ගිටාරය සූදානම් කරගන්න. අද ප්ලේ කරනවා “ඕ හැපී ඩේ”… ගාර්ඩි මාමා මම ප්ලේ කරනවා බලන්න ආසම වුණේ ඒක...

- අන් මැයකින් දිනමිණ වසත් සුළඟ විශේෂාංගයෙහි පලවූවකි.

ප.ලි .- මෙම අඩවියේ පලවූ හාදුවක් කෙටිකතාවට මෙවර නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී කෙටිකතා අංශයේ ප්‍රථම ස්ථානය ලැබුන ආරංචිය සුභ පැතුම් කෙටි පණිවුඩයකින් මුලින්ම දැන්වුයේ රසිකයි... ඒ අවස්ථාවේ උත්සවයට සහභාගීව උන් මා මිතුරෙකු වන ඕනයා එය ලබාගත් බව වට්ස්ඇප් පණිවුඩයක් ඉන් සුළු මොහොතකට පසු දැන්වීය... රසිකටත් ඕනයාටත් නෙළුම්යායටත් නොවක් තුති...!

Thursday, February 23, 2017

119. සේතං මාමාගේ "ඩීප් ස්පේස් ඩිස්කවරීස්" ලොජික්


අපේ ගමේ කඩ තුන හතරක් තියෙනවා... ඒ වුනාට සනත් නන්දසිරි කියනවා වගේ "ගැටව් කතාබහට කඩ එළිපත්තේ ර‍ංචු ගැහෙන්නේ" ඔතනින් එක කඩේක විතරයි... ගැටව් කිව්වට හැට හැත්තෑව පැනපු උන්දෑලත් ඔතන ලගා ගහගෙන ඉන්නවා...

ගමේ කෙහෙල්කැනක් නැතිවුණ තැන ඉදන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ශක උපදේශක ඉල්ලා අස්වුණ එක වෙනකල් දේවල් ඔතන විශ්ලේෂණය වෙනවා... හදිසියකට යන එනගමන් ඔතන කවුරුහරි හම්බුවෙන්න වගේ ආවොත් ඇරෙන්න මම නම් බඩුවක් ගන්න ඕකට යන්නේ නෑ... 

අපේ වහලෙට බරවුන අඹ අත්තක් කපාගන්න අද ගස්කපන ගොත ලාල් හම්බුවෙන්න ගියාම කඩේට ගියා කියලා උන්දැගේ පවුල කියපු හින්දා මම ඔතෙන්ට ගියා... ගොත ලාල් ඇරුනම  ඔතන සේතනුයි, චාමරයිත් හිටියා.. . ඒ වෙලාවේ තමයි මොබයිල් ෆෝන් එකට ආව හිරු නිවුස් ඇලර්ට් එකක්ද කොහෙද චාමරයා කියවන්න ගත්තේ...

"තනි තරුවක් වටා..පරි....බ්‍ර.. පරිබ්‍රමනය වෙන...පූඋඌ...පුරුතුවිය.. පෘතුවියට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනෙයි..ඉන් තුනක් වත් ජීවය සහිත බව නාසා මද්යස්තානය කියයි..."

"කොහොමද වැඩේ...?" අමාරුවෙන් සින්ග්‍රීසි මැසේජ් එක කියවලා, යට තොල නොපිට පෙරළලා  මූ අහන්නේ හරියට මූ ජීවය හොයාගත්තා වගේ...

"දැන් මොක්කුද ඕකේ ඉන්න ජීවය.. සරුපයොද..? සීපාවොද..? මොක්කුද..?" 

සේතං අප්පු තරමක මීටරයක් වග මට කලින් සිද්දි දෙකතුනකින් උන්දෑ එක්ක කතාකරද්දී මට දැනිලා තියෙනවා...

"ඒක කියලා නෑ..." චාමරයා කියන්නේ ආයේ ෆෝන් එක දිහා බලලා..

"මම අහපු විදියටනං ජීවයක් ගැන කියලා නෑ සේතං මාමේ..ඔය නිවුස් කාරයට වැරදිලා... ජීවයක් තියෙන්න අවශ්‍ය වතුර එහෙම තියෙන්න පුළුවන් කියලයි සැක කරන්නේ.." මම කිව්වා..

"ඉතිං වතුර තියෙනවා කියන්නේ ඒවා බොන්න ගෝන්නු මුවෝ එහෙමත් එනවනේ..උන්ව දඩයමට සිංහයෝ කිඹුලෝ හෙමත් ඇති..." 

හිරු නිවුස් එවුන්ව බේරන්න හරි, මේ සාකච්ඡාවට සම්බන්ද වෙන්න හිතාගෙන හරි චාමරයත් මැදට පැන්නා...

"මිනිස්සුන්ට ගොඩ බහින්න පුළුවන් ඉසව්වකද ඕවා තියෙන්නේ..?" 

චාමරයව ඉග්නෝ කරලා සේතංන් අප්පු මගෙන් ඇහුවා..

"ආලෝක වර්ස හතලිහක් කියනවනේ..ඒ කියන්නේ ආලෝකේ වේගෙන් ගියත් අවුරුදු හතලිහක් යනවා..."

"පුහ්...! ඒ කියන්නේ ඉර්දියෙන් තමයි යන්න වෙන්නේ...රොකට්ටුවල යන්න බෑනේ ඔච්චර දුරක්..."  

"ඔන්න ඔය කොහෙද කාලෙක ඉර්දියෙන් හාමුදුරුවරු අහසින් වැඩියා කියනවානේ ඉර එලිය වත් පොලවට වැටිලා නෑලු... එච්චර හාමුදුරුවරු...හක...හක..." ආයෙත් චාමරයා...

"රොකට් වල නං යන්න දුර වැඩි තමයි සේතං මාමේ..."

"කරන්න බැරි මඟුල් නේ... ඕවා ගැන හොයන්න වියදම් කරන සල්ලිත් අපරාදේ... සිරියාවෙද කොහෙදෝ හාමතේ මිනිස්සු මැරෙනවලු අන්න... උන්ට පාන් වාටියක් දුන්නත් පිනක් ඔය සල්ලි වලින්..."

කඩේ මිනිස්සු එක්ක වාද කරන්න යන්නේ නෑ කියලා හිතාගෙන හිටියට මොකද එවලේ මට එතනින් එන්න හිතුනේ නෑ...

"එහෙම කියන්න එපා සේතං මාමේ...මේ සෞරග්‍රහ මණ්ඩලේ දිගටම තියෙන්නේ නෑනේ... අපේ ඉර මැරෙනවා කියනවා තව අවුරුදු බිලියන හතරකින්ද, පහකින්දෝ කොහෙදෝ... එතකොට අපිට යන්න තැනක් තියෙන්න එපැයි...අනාගතේ ඔතෙන්ට යන්න ප්‍රායෝගික ක්‍රමයක් හොයාගනී..ඒක හින්දා මේ ගැන අපි සතුටු වෙන්න ඕනේ..."

"අපිට යන්න...! යකෝ මම තවරුදු දහයක් ඉදීද විස්වාස නෑ.. උබලා වැඩිම උනොත් තව පනහක් ඉදියි... ඉතිං අපි අහවල් එකටද සතුටුවෙන්නේ..."

"ඕකනේ කියන්නේ උඹලාගේ පටු චින්තනේනේ හැමවෙලේම..මනුස්ස සංහතිය ගැන මම කියන්නේ සේතං මාමේ...උඹලා අපි වගේ කාලකන්නි  වගේ නෙමේ විද්‍යාඥයෝ මනුස්ස සංහතිය ගැන හිතලයි වැඩ කරන්නේ...ඒකයි මම කියන්නේ අපි සතුටු වෙන්න ඕනේ..."

"අර පෝය තුන හතරකට එහා... අටවිසි බුද්ද පූජාව ඉවරවෙලා ආපහු එද්දී... මේ සාරාසංඛ්ය කල්ප ලක්සයේ බුදුවරු විසි අටක් පහලවෙලා තියෙනවා කියලා මම සෝමසිරිගේ පොඩි කොලුවට කියලා දුන්න වෙලේ උඹ කිව්වා මතකද ඕවා පොත්වල තියෙන මනෝ විකාරය...මිනිස්සු පරිනාමයද මොකද්ද වෙලත් අවුරුදු කොච්චරයිද කියලා..."

"දළ වසයෙන් අවුරුදු ලක්ස දෙකක් විතර කියලයි පිළිගන්නේ..."

"දැන් මේ ඉර මැරෙනවා කිව්වේ අවුරුදු බිලියන කීයද..?"

"හතරක්, පහක් විතර.."

"එතකොට ලක්ස දෙකට මෙහමනං... අවුරුදු බිලියන පහක් තිස්සේ පරිනාමය වෙලා මේ ලෝකේ අතෑරල ඔය අලුතෙන් හොයාගත්ත ග්‍රහ ලෝකෙට යන එකා දැන් මේ උබලා අපි වගේ මනුස්සයෙක් වෙන්න බෑනේ... එතකොටත් උබ කියන්නේ අපි සතුටු වෙන්න ඕනේද..?"

"ඔබට සතුටුයිද දැන්...?" චාමරයා අහනවා...

"පා...පා...පා..පරි...ණා...ණා.." ලාලුත් ගොත ගගහා මොනවද කියලා ඉවරවෙන්න කලින් මම එන්න ආවා..

ප.ලි. : මෙය කියවන කිසියම් අයෙක්ට යම් සිත් තැවුලක් ඇතිවන්නට අවදානමක් ඇතැයි යන සිතුවිල්ලෙන් මේ සටහන...  මෙහි "ගොත ලාල්" යනුවෙන් යොදාගෙන ඇත්තේ කෙනෙකුගේ ශාරීරික අභියෝගයක් උපහාසයට ලක්කිරීමේ අදහසකින් නොවෙයි.

1. මේ සැබෑ චරිතයක්.. ඒ අව්‍යාජ බව කතාවට එකතුකරන්න අවශ්‍යය වුනා... මා පුද්ගලිකව මෙවැනි කාරනා ගැන අද තරමක් සංවේදී වුනත් එදා ගමේදී ඔහුගේ මානසික තත්වය ගැන අනෙක් ගම්මුන් මෙන්ම සහමුලින්ම අසංවේදී වුන බව සිහිකරන්නේ කණගාටුවෙන්...

2. පරිණාමය ගැන පුංචි තාක්ශණික අවුලක් මේ කතාවේ තිබේ යැයි මට හිතෙනවා..කෙනෙක් ඒ වැරැද්ද ප්‍රශ්න කලොත් එය නිවැරදි කරන්න මේ චරිතය අවශ්‍යයයි...

Sunday, February 5, 2017

118. ජීවිතය නම් එහෙමයි




ගිලිහී වැටෙන තරුවක
හමන සුළඟේ ස්වරයක 
වසත් කුසුමෙක සුවඳක
පින්න දිලිසෙන උදයක

දැවටෙනා පෙණ බුබුලක
සැඳෑ හවසක අහසක
ඉසින විලවුන් සුවඳක
උණුසුම් කෝපි සුසුමක

දැකිය හැකි අරුමයක් තිබුණිද
අතිර බව හැර අන් යමක් වෙද 
ණයට ගත් අසිරියකි මේ හැම
අහිමි වන අසුරක පමාවට

තරුව ගිලිහී වැටේවී
සුළඟ හෙමිහිට හමාවී
කුසුම මිලිනව වැටේවී
පින්න දිලිසී මැරේවී

සුසුදු පෙණ කැටි බිඳේවී
අහස අදුරේ ගිලේවී
සුවඳ හනිකට මැකේවි
කෝපි සීතල දැනේවි

ඇස් පියන් වැසෙනා පමාවක
ගමන නිමවී තිබේවී
නුඹ නමට වූ මතකන් හැම
ලොවෙන් වියැකී තියේවී


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"දැන් මොකද්ද උඹේ ඕපනින් ලයින් එක..?"

ජිමා අහන්නේ යටි උගුරෙන් කොදුරමින්

"අතේ තියෙන පොත ගැන අහමු..?"

"නොදකින්...ඕල්ඩ් ට්‍රික්ස්නේ බන්...උඹ පෙරනවා කියලා අතේ මාට්ටු..."

"නෑ එහෙම වෙන එකක් නෑ..."

"නාගෙන වරෙන් එහෙනම්..."

ජිමාගෙන් විවරණ අරගෙන මම හැරෙන්නෙ ඇය දිහාවට...

"එක්ස් කියුස් මී... ඔය අතේ තියෙන්නේ කවි පොතක්ද..?"

ගතවෙන්නේ කල්පයක්...ඇය නිහඬයි...

මගෙ ආත්ම ගෞරවය..? ෂික්..! ඒක නොතියා ඉන්න තිබුන ලන්සුවක්...මගේ යටි හිත කෑගහනවා...

හිනාව නවත්තගන්න දඟලන ජිමාගේ ඇස්වලින් කඳුලු පනින්න ඔන්න මෙන්න...

පලවෙනි පාඩම..! ඇගේ කතාව හෙමින්...

"ඔව්...!"

ඇය පවසන්නේ සිනාමුසුව පොත මට දිගුකරන ගමන්...

"දෙවියනේ...ඉතින් ඒලියන්ස්ලා මෙහෙට්ට එයිද..?"

ලෝකේ තියෙන ‍බාලම පිකප් ලයින් එකකින් කෙල්ලෙක් කතාවට අල්ලගන්න පුළුවන් තැනක ඉන්න වුනු එක ගැන සාපකරමින් ජිමා නැගිටලා වෙන සීට් එකකට යනවා...තනියම කියවන උගෙන්  ඉතින් කාට පලක් ඇතිද...?

අපි දෙන්නාගේ අලුත් සමාගමය ගලන්නේ දුවන දුම්රියටත් වඩා වේගයෙන්...

"ඔයා ආසාම කවිය මොකද්ද..?"

මම අහන්නේ ඉන් බොහෝ කාලෙකට පස්සේ දවසක...

"Sic Vita"

ඇය පිලිතුරු දෙන්නේ මොහොතකවත් පමාවක් නැතුව...

Sic Vita

කවි නොකියවන, නොලියන මට, නොතේරුනු කවි වලින් එකක්...

එදා නොතේරුනු කවිය වසර දහ අටකට පස්සේ අද හදිසියේම මට වැටහෙන්නට පටන් අරන්...

සිතුවිලි වලට හඬන්නට, වචන වලට මීට වඩා හොද අවස්තාවක් නැතිවා වෙන්නට පුලුවන් වුනත් මම වචන සඟවන්නම්...

මිතුරිය.., නුඹේ විචිත්‍ර සිහිනවල සදාකල්හිම කිමිදී ඉතින් සුවෙන් නිදන්...

Sic Vita

Like to the falling of a star,
Or as the flights of eagles are,
Or like the fresh spring's gaudy hue,
Or silver drops of morning dew,
Or like a wind that chafes the flood,
Or bubbles which on water stood:
Even such is man, whose borrowed light
Is straight called in, and paid to night.
The wind blows out, the bubble dies;
The spring entombed in autumn lies;
The dew dries up, the star is shot;
The flight is past, and man forgot.

by Henry King

පිංතූරය ගත්තේ මෙතැනින්

Friday, February 3, 2017

117. සඳක් හොරෙන් අරන් ගියා



නෙතක් කඳුළු ඉතිර ගියා
සිතක් පිරුණු සුසුම් තියා
මිටක් සරින් හරින නියා
සඳක් හොරෙන් අරන් ගියා...

ඉඳුනිල් මිණි දෑස පියා
සුකුමල මුව කමල වසා
කෙළිලොල් කිරිකවඩි සිනා
සිතුවම් මතකයක් කළා...

ලොවක් නිවන ඇසිල්ලකින්
වසන්තයක් අරන් ඇවිත්
කවක් ලියන්නටත් කලින්
රැයක් පහන් වෙලා ගිහින්...

සහස් සුසුම් පවන් රැලී
නැලැවිලි ගී ගයනු ඇතී
සමනල් සිහිනෙක පේවී
සුවෙන් නිදන් සඳ සාවී...



ඉවරයක් නැතුව ආදරය කරන්න කොච්චර කාලයක් ගතවෙයිද? ඉවරයක් නැති කාලයක් ගතවෙයි කියලයි මම හිතාගෙන හිටියේ... ඒත් අසුරක් ගසන ඇසිල්ලකත් ඉවරයක් නැතුව ආදරය කරන්න පුළුවන් කියලා පෙන්නුවේ හේසල් ග්‍රේස්...

පායලා බැහැලා යන දේදුන්නක... එහෙම නැතිනම් පිපිරිලා කඩා හැලෙන මල් වෙඩිල්ලක... සමහරවිට ඇඟිලි අතරින් ලිහී දියවෙන හිම කිරමක...මේ හැමතැනම තියෙන චමත්කාරය පිටිපස්සේ සැගවිලා තියෙන්නේ ඇසිල්ලකින් නැතිවෙලා යන අතිර බව තමයි... ඒත් ඒ අසිරියට ඉවරයක් නැතුව ආදරය කරන්න, සදාකල් මතකයේ තියාගන්න විටෙක ඉසිඹුවකුත් පු‍ංචි වැඩි නැහැ...

හරියට... ණයට ගත්ත මේ හැමදෙයක්ම ආපහු බාරදෙනකල් ලැබෙන පමාවෙත්, අපේ ජීවිතේට ඇසිල්ලක් සතුට බෙදලා නික්මෙන ආදරණීයයෙකුට ඉවරයක් නැතුව ආදරය කරන්න බැරි නැහැ වගේ...

පරිස්සමෙන් හෙව්වොත් සදාකාලයම ඇසිල්ලක සැඟවිලා තියෙනවා...

පිංතූරය ගත්තේ මෙතැනින්

Thursday, April 7, 2016

116. නිකිණි මේඝයට සනෙහසිනි



කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි...

නිකිණි මේඝයට සනෙහසිනි,

සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්, බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි...

ඒ අප බාහිර ලෝකයෙන් වසන්ව එකිනෙකාගේ ඇස් කාච තුළට අනායාසයෙන් රිංගාගෙන ආයාසයෙන් ජීවත් වූ සමයයි... හරි හැටි නමක් නොදන්නා අඩුවක් ගැන මම නිතර මැසිවිලි කීවා නුඹට මතක ඇතැයි සිතමි...

ජනේරු වැහි හතරක වැහි කැටයක් ගානේත්, ගිනිගෙන දැවුනු ගිම්හාන තුනක අව් රැල්ලක් ගානේත් අප සෙවූ ඒ අඩුව අනෙකක් නොව වචන අකුරු නම් ආශ්චර්යය යැයි එදා නුඹ හොඳින්ම දැනසිටි බව මම දැන් අදහමි...

සිතුවිලි නිද්‍රාවෙන් ගල්වෙන තරම් මා පෙලූ ඒ නිහඬතාවය වචන අකුරු වලින් සමනය කලහැකි බව සාහසික ලෙස නුඹ මගෙන්  වසන් කලා පමණක් නොව, නෙතු පියන් වසනා සඳ අපට හොරෙන් අප හදවත් එකිනෙකාට කොඳුරන රිද්මය පවා නුඹට ඇසෙන බව පවසමින් මා මුලා කරන්නටද එඩිතර වූ අයුරු පුදුමාකාරය...

හුදෙක් නුඹේ  හැඟීම් මාත්‍රයක දැවටුනු මුරණ්ඩුකම ගැන විශ්වාසය තැබූ මම නෑසෙන හදවත් රිද්මයක් ගැන සිගරැට් දුම හා ඔට්ටු තබා පැරදුනු රාත්‍රීන් ගනන කොපමණදැයි නුඹ කවදා දැනගනීද...

මගේ සල්ලාලකම ගැන චෝදනා කරන නුඹ විරාගී කවියෙකුගේ උපයෝගීතාවය ගැන ප්‍රශ්න කල අයුරු අමතකද..? ඉන් අධෛයිරයට පත්ව මා ලියූ කවි සියල්ල කීතු වලට ඉරනා විට කවි ඉතිරි කර ඒවායින් විරාගය සූරා ඉවත් කරන්නට නුඹට තුබූ සංයමය ගැන අද මම පුදුම නොවෙමි... ඉරුණු  කවිපද සියල්ල එක යොතක් කොට අඹරා මල පුඩුවක් සාදාගත් මම වෙහෙසකර ලිංගික තිගැස්මක සුරතාන්තයෙන් ආරූඬව නුඹේ දෑස් පියවෙද්දී නුඹේ සිලිටි ගෙල සිරකිරීමට නොයෙක්වර මාන බැලූ බව නුඹ නොදන්නවා ඇති.. එහෙත් ඒ කිසිවිටෙක නුඹේ දෑස් නොපියවීම අහම්බයක් නොවන බව මම දැන් දනිමි...

බක්මහ ගිනියම් පාරජම්බුල උනුසුම කොළඹ පාරක් ගානේ වහින සමයක සිහිකැඳවීම පිනිස අතැරගිය ධවල කානේශන් මල් සුවඳ දිගේ නුඹ ආපසු පැමිනේයැයි සැකයෙන් මම ඒවා ආදරයෙන් රක්ශා කලෙමි... සුලගේ පිපී නැටූ ඒ මල් "ඇද්ද තොට...ඇද්ද තොට..." යන විසුළු රැඟුමෙන් රඟන්නට ගත් පසු ඒ සියල්ල මුලින්ම උදුරා විනාශ කර දමනවා හැර මට වෙනත් විකල්පයක් නොවීය...ඒවා නැවත දළුලා නොවැඩෙන තරමට තලා පොඩිකර දමන්නට මා සමත් වුවද, අදත් මද්දහනේ කොළඹ යද්දී මගේ දිවට තියුනු මලකඩ රසයක් දැනෙනු වළක්වා ගත නොහේ.. එය පහව යනතුරු මම කොළඹ අසංවර අහස උරා බී කට සෝදා කෙල ගසමි...

නුඹව ගිනි උදුනට විසිකිරීමට තරම් මම මෝඩ නොවෙමි...ඒ වහා ගිනි ඇවිලෙන සුළු නුඹේ දහනය ගැන ඇති සැකයකින් නොවේ... අප වෙන්වූ දින පටන් දැවෙමින්ද තැවෙමින්ද දැවී දැවී තැවෙමින්ද ඇවිලෙන නුඹේ ආත්මය නුදුරේම අඟුරු වන බව දන්නා හෙයිනි...

නුඹේ මලගමදා සොහොන් කොතේ නුඹ වෙනුවෙන් මා යමක් ලියූබව නුඹ  නොදන්නවා ඇතැයි සිතමි... නුඹ මියගිය ආදරවන්තයින්ගේ දිනයට පසුදින නුඹේ සැම්සුන් ගැලැක්සි සොහොන් කොතේ මිස්ඩ් කෝල්ස් විසිහතරක් නුඹ වෙනුවෙන් මම ලියා තැබුවෙමි... 

නුඹ එය දුටුවාද මම නොදනිමි...නොදැක්කානම් කියන්න..නෑ...නොකියාම සිටියත් කම් නැත...

මීට 
අගතියට පත්,
කවි නොලියූ කවියා.


ප.ලි. : සිංහල බ්ලොග් අවකාශයේ කලකට පසු කියවූ අපූරු නිර්මාණයක් වන කවි නොලියු කවියාට ලියා තබමි ලිපිය කියවීමෙන් ආතුර වුනු හදවත යථාතත්වයට පත්කරගනු වස් ලියැවුනකි...

සිංහල බ්ලොග් ලොව දිග්විජය කල බස්සීගෙන් පසු එහි නිර්මාණාත්මක ෂානරයට වැදුන සොදුරුතම හෙණ පහර අමාගේ හීන සාප්පුව යැයි හඟිමි...පරිගණක තිරයේ ඉහල සිට පහලට දෑස් ගෙනයන පමාවට නොදනිත් දරුවන් ඇකයෙන් වැටෙන විසල්ගේ අරුම ලිවිල්ලට බ්ලොග් ලොව බොහෝ විසිතුරු සිත්තම් මවන්නට හැකිවේවායි පතමි...


Thursday, March 10, 2016

115. හාදුවක්...



ඉසා උන්තැනම ගල් ගැහුණා... දෙපා ප්‍රාණික වෙද්දී  කොසු මිටට වාරුවුණු ඇය බිමට නැඹුරුවෙලා ආයෙත් ඒක දිහා බැලුවා... මේ පාර හොඳ කල්පනාවෙන්... ඇයට වැරදිලා තිවුනේ නැහැ...

"දෙවියනේ හාදුවක්...!"

ඒත් එක්කම ඇය අතින් කට තදකරගෙන වටපිට බැලුවේ තමන් කියපු දේ අවට කාට හෝ ඇහුනදෝ කියන බියෙන්... 

නිදහස් ස්මාරකයේ රටාවකට හිටවුනු කොන්ක්‍රීට් කණු එකිනෙකාට මුවා වුනේ අනේ අපි ඕවට නෑ කියන්න වගේ... ඒවායේ කොටලා තියෙන මල් ලියකම් බොරු උවමනාවල් මවාගෙන වක ගැහුණු රටා අතරේ තව හැංඟුනා..

හාදුවක් තමයි... ගිනි සැරේට පායාගෙන එන ඉර රස්නේට තවමත් හේබාලා නොගිය, නැවුම්, පිරිසිදු හාදුවක්... කාටදෝ අමතකවෙලා ගිහින්...

"මොන අපරාදයක්ද.. ?"

ඉසා තමන්ටම කියාගත්තා... යූසී එකේ ජොබ්බෙක පටන්ගත්ත දා ඉඳන් හැමදාම උදේට ඇය ස්මාරකේ අතුගානවා වුනත් මේ බැරිවෙලා ගිය හාදුවක් ඇහැගැටුණු පළවෙනි වතාව...

කොස්ස අල්ලගන්න කණුවකට බාරකරපු ඉසා හරිබරි ගැහිලා හාදුව දෝතට ගත්තා... ‍‍‍‍මලක් නෙලාගන්න තරම් සීරුවට...

"අනුන්ගේ හාදුවක්නම් මට ඕනී නෑ කොහොමත්ම..." ඇය කෙඳිරුවා...

"මම මේක අයිතිකාරයට දෙනවා...!"

"අතුගානවද උඹ භාවනා කරනවද...?"

තමන්ගේ පිටිපස්සෙන් ඇහුණු ආරක්ෂක රැකවලුන්ගේ සද්දෙන් කලබල වුන ඉසා හාදුව පිටිපස්සට කරගත්තා.. ඇයට අයිති නැති දෙයක් තමයි...ඒත් හොරකම් කරන අදහසක් නොතිබුණු තමන් මොනවා කියලා හංගන්නද...

"මොකද්ද හංගගත්තේ... පෙන්නපන් බලන්න..?"

ආරක්ෂක රැකවලාගේ විධානයෙන් ඇය මිට මොලවපු අත හෙමින් ලිහිල් කලා...මලක් පූජාකරන තරම් සීරුවට...

ඉස්තරම් හාදුවකට තියෙන්න ඕනේ හැම ලක්ෂනයක්ම නොඅඩුව තිවුණා වුනත්, රැකවලුන් දෙන්නා දිහා බලාගෙන හිටියේ ලෝකේ තියෙන අප්‍රසන්නම දේ දැක්කා වගේ...

"විසිකරපන් ඒක...!"

දෙන්නගෙන් වැඩිහිටි ආරක්ෂක රැකවලා කිව්වා...

"අර මොකටද..?"

මුරණ්ඩු ඉසා ‍‍‍‍පරාජය භාරගන්න සූදානම් වුනේ නැහැ...

"කොහෙන් මේක මෙතෙන්ට ආවද..?"

තරුණ රැකවලා කිව්වා... ප්‍රශ්ණයක් අහනවට වඩා එතැන තිබ්බේ තමන්ටම අඟවගත්ත පසුතැවීමක්...

"තේ වෙලාවේ මම පොඩ්ඩක් උගුර තෙමාගන්න ගිය ටිකට ඕක වෙන්න ඇත්තේ...උඹට මම නැතුව මොකුත් කරගන්න බෑ..."

වැඩිහිටි ආරක්ෂක රැකවලා තරුණයාට බැණ අඬගහන්න තියාගත්තා...

"නෑ වෙලාවේ නෙමෙයි...මේක ඊයේ රෑ දුන්න හාදුවක්... කාටහරි බැරිවෙලා ගිහින්..."

ඉසා කිව්වේ ඔළුව ඇලකරගෙන එක අතකින් හාදුව ආදරෙන් පිරිමදින ගමන්...

"උඹ කොහොමද එහෙම කියන්නේ..?" 

තරුණ රැකවලාට එහෙම අහන්න අවශ්‍යය වුනත් ඊට කලින් අනෙකා කටහඬ අවදිකලා...

"කොහොම වුනත් දැන් ඕක විසිකරපන්..."

"මොන අපරාදයක්ද..?"

ඉසා ආයෙත් කිව්වා...

"මොකද්ද අපරාදේ...? මේක නිදහස් ස්මාරකයක්... අරන් පලයන් මේ හතර මායිමෙන් එහාට ඔය මල ජරාව.."

"මල ජරාව...! ඔහේ දන්නවද හාදුවක් කොච්චර වටිනවද කියලා...?" 

ඉසා කියවාගෙන ගියා,..

"මේ ලෝකේ තියෙන දේවල් සේරම කැත අඩුවෙන පිළිවෙලට එක පෙළට තිව්වොත් ඒකේ මුල් කෙලවරේ ඔහේගේ මොළ ගෙඩියත් අන්තිම කෙළවරේ මේ හාදුවත් තියෙන බව මට විශ්වාසයි ...ඔහේ නොදන්නවා වුනාට මේ පුංචි හාදුවට පුළුවන් ගිනි ගන් ආත්මයක් සීතලෙන් ගල් කරන්නත්, හිම මිදෙන තරම් සීතල හදවතක් ලාවා වගේ දියකරන්නත්...කොටින්ම මේ හාදුව ඔහේට අයිති වුනානම්, ලේ කඳුලක් නැති තමුසෙගේ මරුමුස් මූනට  කවදාවත් නැති තරම් එළියක් වැටෙන්න වුනත් ඉඩ තිවුනා කියලා මට හිතෙනවා..."

අව්වට පිච්චුනු  රැකවලාගේ මූණ කතාවෙන් තවත් කළුවුනා...ඒත් තමන්ගේ කන්පෙති වලට ලේ පිරෙන හැටි ඔහුට දැනුනා...බලාපොරොත්තුවෙන් දිලිසෙන තමන්ගේ ඇස්දෙක හංගාගන්න ඔහුට ලොකු වෙහෙසක් දරන්න වුනා...

"මගේ බල්ලටවත් එපා..." ඔහු කිව්වේ ඇතුළතින් කෑලි වලට කඩාවැටෙන ගමන්...

තවත් එතැන කාලය කන්න ඉසාට ඕනේ වුනේ නෑ... හාදුවත් අරගෙන ඇය ආපහු නොබලා එතැනින් පිටවුනා... පිළුණුවුන හාදුවක් අයිතිකාරයාට බාරකරන්න ඇයට අවශ්‍යය වුනේ නැහැ කොහොමටත්...

"ඉසා....!!!"

ඇයට වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ... තරුණ ආරක්ෂක රැකවලාගේ හඬින් ඇය නැවතුනා...

"මෙන්න උඹ කොස්ස දාලා ගිහින්... මම හනික අරගෙන ආවා..."

"මේ හාදුවක් හින්දා ඒකත් අමතක වුනා..."

 ඇය කිව්වේ නෝක්කාඩු ස්වරයෙන්...

"ඉතින් උඹ ඔච්චර ඔය හාදුවට කැමතිනම් උඹ තියාගන්න එකයි ඇත්තේ..."

"අර මොකටද මට අනුන්ගෙ හාදුවක්...මගේම කියලා මට හාදුවක් ලැබුණ දාට මම ඒක ආසාවෙන් තියාගන්නවා...මේක මට එපා..."

"උඹ හාදු ගැන මහා හුඟක් දේ දන්න හැඩයි..."

"සමහරවිට... උඹට වැඩිය දන්නවා ඇති..."

ඉසාගේ කලබල ඇස් ආරක්ෂක රැකවලාගේ ඇස් වල පැටලුනා...

"උඹ කැමති නැද්ද ඒවා ගැන මට කියලා දෙන්න...?"

"උඹේ අකමැත්තක් නැද්ද ඒවා ගැන අහගෙන ඉන්න...?"

"හාදු ගැන අහන එක... මම ආසම දේවල් වලින් එකක්...!"

"හාදු ගැන කියන එක...මමත් ආසම දේවල් වලින් එකක්..."

ඉසා කිව්වේ ආරක්ෂක රැකවලාගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන...

"කවදද..?"

"අද රෑට...! කොතනද...?"

"ස්මාරකේ ගාව...?"

" ඒක නිදහස් ස්මාරකයක්...!"

ඉසා කිව්වේ ඇස් ලොකු කරගෙන...

"මේක හාදුවක් ගැන පොරොන්දුවක්..!"

රැකවලා පිළිතුරු දෙද්දී ඔහුගේ මුහුණ ආදරයෙන් එළිය වෙලා තිබුණා...හාදුව තුරුළු කරගත්ත ඉසා එතැනින් ඉගිලුනා...

ආපහු ස්මාරකයට එද්දී තමන්ගේ සගයා හිස බිමට නැඹුරු කරගෙන ස්මාරකයේ කොන්ක්‍රීට් කණු අතරේ මොනවාදෝ හොයනවා තරුණ රැකවලා දැක්කා...

  පිංතූරය :  අන්තර්ජාලයෙන්...

Web Statistics